උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 6 February 2020

බැඳුම්කර වෝහාරික වාර්තාව හා සුදුකරපටි අපරාධකරුවන්



බැඳුම්කර වෝහාරික වාර්තාව හා සුදුකරපටි අපරාධකරුවන්

·       කතානායකතුමාගේ එඩිතර තීරණය

·       සේවක අර්ථ සාධක අරමුදල රජයේ අරමුදලක් ද?

·       වැඩකරන ජනතාවගේ මුදල් යොදවා සිදුකල මහා වංචාව
2015 පෙබරවාරි 27 දා සිදු වූ බැඳුම්කර පාඩුව හා වංචාව එවකට විපක්ෂය හා ජනමාධ්‍ය උපුටා දැක්වූයේ, ලක් ඉතිහාසයේ ප්‍රථමවරට මහ දවල් මහ බැංකුව මහ කොල්ලයකින් සුද්ද කළ  බවය. මේ නිසාම රටේ ආර්ථික අර්බුදයක් හා ණය අර්බුදයක් ඇතිවූ බවටද කරුණු දක්වන ලදි.

යහපාලන ආණ්ඩුව හා එක්සත් ජාතික පක්ෂයට/පෙරමුණට වහාම දේශපාලන දඬුවම් ලැබිණි. එ.ජා.පෙ. ට ලැබෙන්නට තිබූ ඡන්ද ලක්ෂ 02 ක් පමණ ජවිපෙ ඇතුළු වෙනත් පක්ෂවලට ඇදී ගියේ ඉතිහාසයේ තුන්වැනි වරට අනුපාත ඡන්ද ක්‍රමය යටතේ ආසන 113 ක් ලබාගැනීමට එජාපෙ ට තිබූ අවස්ථාව අහිමි කරවමිනි. (2015 අගෝස්තු මහ මැතිවරණය)

2015 පෙබරවාරි සිදුවූ මහ බැංකු පාඩුව හා වංචාව නිරුවත්ව එළිදරව් වී තිබියදී 2016 මාර්තු වලද එමෙන් දස ගුණයක පාඩුවක් හා වංචාවක් පළමු සුදුකරපටි අපරාධකරුවන් විසින්ම සිදු කළහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අර්ජුන් මහේන්ද්‍රන් නැවත පත් නොකිරීමට තීරණය කළේ ඒ සමඟය. ඒ මා ද ඇතුලු ඇමතිවරුන් කීප දෙනෙකු මහේන්ද්‍රන් නැවත පත්කළහොත් හා මෙකී පාඩුව හා වංචාව විමර්ශනය නොකළහොත් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළ අතරවාරයේය. ආණ්ඩුවේ ඇතැමුන් මගෙන් හා මගේ අමාත්‍යාංශයෙන් පළිගැනීමට එය හේතුවක් කරගත් බවද කිව යුතුය.

කවර අඩුපාඩු තිබුණද මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් ක්‍රියාමාර්ගය නොවන්නට 2015-16 මහබැංකු පාඩුව හා වංචාව තවත් එක් සටන් පාඨයක් වීමට ඉඩ තිබිණි.

මෛත්‍රීපාල ජනාධිපතිතුමා විසින් පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශයක් මත වෝහාරික විගණනයක් (Forensic Audit) මහබැංකු බැඳුම්කර හා සේවක අර්ථසාධක අරමුදල පිළිබඳව ආරම්භ විය. එහි වාර්තා දෙක පසුගියදා නීතිපතිවරයාගේ බාධා මැද පාර්ලිමේන්තුවේ සභාගත විය. ඒ එඩිතර තීරණය ගැන කතානායකතුමාට ස්තුති විය යුතුය.
ඇතැම් චූදියන් කියන්නේ අදාළ විගණන සමාගම් බාල ගනයේ ආයතන බවය. බැඳුම්කරය ගැන වාර්තාව නිකුත්කළ BDO ආයතනය යුරෝපීය ආයතනයක් වන අතර (එහි ඉන්දියානු ශාඛාව විගණනය කළේය) එය ලෝකයේ පස්වැනි විශාලතම විගණන ආයතනය වෙයි. සේවක අර්ථසාධක අරමුදල ගැන වාර්තාව නිකුත් කළ KPMG ආයතනය ලොව විශාලතම විගණන ආයතන 04 න් (BIG 04) එකකි. මේවා කිසිසේත් බාල ආයතන නොවේ.

තවත් චූදිත පිරිස් කියන්නේ 2006-14 කාලයේ පාඩුවක් මිස වංචාවක් සිදුනොවූ බවයි. වංචාවක් යනු චේතාන්විතව යම් ආයතනයකට පාඩු කර තවත් ආයතනවලට ලාබ ලබාදීම හා එම ලාබ ලබන ආයතන තුළ තම ඥාතීන් හා මිතුරන් සිටීමය. ඒ අනුව 2005-14 කාලයේ මෙන්ම 2015-16 කාලයේද සිටි මහබැංකු අධිපතිවරු  හුදු පාඩුවක් සිදුකළා පමණක් නොව, චේතාන්විතව සැළසුම්කර එය සිදුකළ නිසා වංචාවකද හවුල්කරුවෝ බව වෝහාරික විගණනයෙන් පෙනී යයි.

සේවක අර්ථ සාධක අරමුදල රජයේ අරමුදලක් නිසා හා එය මහබැංකුවට ලාභ මෙන්ම පාඩුද සිදුකර ඇති නිසා සමස්ත ක්‍රියාදාමය තුළ එය ලාබ ලබා ඇති හෙයින් කිසිදු පාඩුවක් සිදු නොවූ බව කියන්නෝද වෙති. සේවක අර්ථසාධක අරමුදල රජයේ අරමුදලක් නොවේ. පුද්ගලයින් ලක්ෂ 26 කට අයත් ගිණුම් ලක්ෂ 186 ක් ඇති විශාලතම විශ්‍රාම වැටුප් අරමුදලයි. (2018 දී ට්‍රිලියන 2.39 කි) ඒ නිසා සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ හරහා සිදුකළ ආයෝජනවලින් (බිලියන 58) ලබා ඇති පාඩුව මෙන්ම බැඳුම්කර ආයෝජනවලින් ලබා ඇති පාඩුවක් වෙත්නම් එය ද වැඩකරන ජනතාවට සිදුකල පාඩුවකි. කොල්ලයකි. එය භාරකරුවා විසින් භාර සාමාජිකයන් සූරාකෑමක් හෝ දූෂණයක් ලෙස සැලකිය හැකිය.

හිටපු මහබැංකු නිලධාරීන් ඇතුලු පිරිසක් විගණනයේ ක්‍රමවේදය ප්‍රශ්න කර ඇත. එය මෙවැනි ඉහළ ගණයේ තාක්ෂණික ඇගයීමකදී සිදුවිය හැකි ක්‍රියාවලියකි. අනෙක් අතට ඒ ප්‍රශ්න කිරීම් කරනා බොහෝ නිලධාරීන්ගේ නම්, විධිමත් ක්‍රියාවලියක් බැඳුම්කර හා EPF ආයෝජන ගැන අනුගමනය නොකිරීම පිළිබඳව ඉහත කී වාර්තාවල චෝදනා ලැබූවන්ය. පාඩුවේ අගය පිළිබඳව ගැටලු තිබිය හැකි නමුත් 2008-12 කාලයේදී සේවක අර්ථසාධක අරමුදල යොදවා රටේ පොලී අනුපාත පාලනය කිරීමට දැරූ උත්සාහයෙන්, වැඩකරන ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභය නොලැබුණු බවත්, 2011-13 කාලයේ විධිමත් ආකාරයට ලියාපදිංචි නොකරන ලද ප්‍රාථමික ගැණුම්කරුවන්ට ද්විතියික වෙළෙඳපොලේදී මහබැංකු බැඳුම්කර වැඩි මිළට විකිණීමට සලස්වා මහබැංකුවට හා EPF අරමුදල යන දෙකටම පාඩුකළ බව ඉතා පැහැදිළිය. 2015-16 සිදුවූයේද එයමය.

මෙකී වෝහාරික වාර්තාවෙන් අයථා ලෙස පුද්ගලික ආයෝජන සමාගම් උපයාගත් ලාභය දේශපාලකයින් හා නිලධාරීන් අතර බෙදා හදාගත් ආකාරය පැහැදිළි කර නැත. නමුත් පැහැදිළිවම ලබැඳියාවන්ගේ ගැටුම් (Conflict of interest) පෙන්වා දී ඇති අතර 2015-16 සිදුවීමේදී එළියේදී වංචනික ලෙස උපයාගත් ධනයෙන් කොටස් ලබාගත් පිරිසෙන් ඇතැමෙක් හෙළිදරව් වී ඇත. ඇලෝසියස්ගෙන් මුදල් ලබාගැනීම කිසිසේත් දේශපාලන අවලාදයක් නොව වංචාවක හවුල්කරුවන් වීමකි. එමෙන්ම PTL ඇලෝසියස්ලාටත් වඩා EPF ප්‍රතිලාභ වංචාකර ඇත්තේ Entrust රත්වත්තේලාය. ඒ පිළිබඳවද විධිමත් පරීක්ෂණයක් හා සෘජු අධිකරණ ක්‍රියාවලියක් අත්‍යාවශ්‍යය.

බැඳුම්කර සිදුවීම ගැන මගේ සරල විග්‍රහය මෙසේය.

2015-16 වාකවානුවේ බැඳුම්කර වෙන්දේසියේදී ආණ්ඩුවට පාඩුවක් වූ බවත්, අයථා ලෙස උපයාගත් ලාභය වංචනික ලෙස බෙදාගත් බවත් පිළිගත යුතුය. ඒ අවධියේදී අප සියලුදෙනා සිතා සිටියේ එය ඉතිහාසයේ පළමුවරට සිදුවූ වංචාවක් බවය.

එවකට වූ මහබැංකු අධිපතිට හා ඉහළ ගණයේ දේශපාලකයින්ට හා නිලධාරීන්ට සම්බන්ධ ආයතනයක් (PTL) රජයට පාඩුවක් වන ලෙස ලාභ උපයාගත් අතර ඒ සඳහා මහබැංකුව සතුවූ සංවේදී තොරතුරු ලබාගත් බවත්, වෙන්දේසියේ ස්වරූපය ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වෙනස්කළ බවත් හෙළිදරව් වී ඇත. සරලව කිවහොත් අඩුමිලට ගත් බැඳුම්කර වැඩිමිලට EPF එකට විකුණා ඇති අතර බැඳුම්කර මිලදී ගැනීමට අවශ්‍ය ධනයද රාජ්‍ය බැංකු මගින්ම ලබාගෙන ඇත.

එයට එරෙහිව අපි එදා නැගී සිටියෙමු.

වෝහාරික විගණනය පෙන්වා දී ඇත්තේ මේ වංචනික ක්‍රියාව මුල්වරට 2015-16 දී සිදුවූ හුදෙකලා සිදුවීමක් නොව කාලාන්තරයක් පැවති වංචනික ක්‍රියාවලියක් බවය. මෙහි ආරම්භක ක්‍රියාකරු 2006/14 මහබැංකු අධිපතිවරයා වන අතර ඔහුට ඉහළ ගණයේ දේශපාලකයින්ගේ අනුග්‍රහය ලැබී ඇත. ඔහු වර්තමානයේ අගමැති මහින්ද රාජපක්ෂගේ ආර්ථික උපදේශකවරයා ය.

වැඩකරන ජනතාවගේ දාඩියෙන් ගොඩනැගූ සේවක අර්ථසාධක අරමුදල මේ වංචාවේ ධන උල්පත ලෙස යොදාගෙන ඇත. EPF නිධානය සූක්ෂම තාක්ෂණික ක්‍රියාවක් මඟින් කඩා එළියට ගෙන හිතමිතුරන්, ඥාතීන් අතරේ බෙදාගෙන ඇත.
1998 සිට බැඳුම්කර නිකුත්කර ඇතත්, 2004 වන තෙක් ප්‍රමාණවත් ලේඛන ගතකිරීමක් හෝ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හෝ තිබී නැත. එයට වගකිව යුත්තේ මහ බැංකුව පාලනය කළ අය ය. එමෙන්ම ඒ කාලයේදී විශාල ගණුදෙනු සිදුවූ බවක් වාර්තා වී ද නැත.

2008 පමණ කාලයේ සිට බැඳුම්කර ක්‍රියාවලිය දැවැන්ත මූල්‍ය ක්‍රියාවලියක් වී ඇත. ප්‍රාථමික ගැණුම්කරුවෙකු ලෙස EPF ආයතනයට තරඟ කිරීමට ඉඩ නොදී, එහි අරමුදල් අඩු ප්‍රතිධානයක් සහිතව ආයෝජනය කර ඇත. එමඟින් EPF අරමුදලට හා දායකයින්ට පාඩු කර ඇත.

2013 පමණ කාලයේදී EPF ආයතනය ද්විතියික ආයෝජකයෙකු ලෙස (Secondary Dealer) කැඳවා ඇත. 2011-13 කාලයේදී එවකට මහබැංකු අධිපතිවරයා කිසිදු ප්‍රමිතියකින් හෝ විධිමත් ක්‍රියාවලියකින් තොරව ප්‍රාථමික ආයෝජකයින් ලියාපදිංචි කර ඇත. ඇලෝසියස්ගේ PTL ආයතනය එවැන්නක් වන අතර අධිපතිවරයාගේ ඥාතීන් එහි අධ්‍යෂකවරුන් ලෙස  ක්‍රියාකර ඇත. PTL ආයතනය පමණක් නොව PABC ආයතනය, Acuity ආයතනය, Seylan PLC වැනි ආයතන ගණනාවක ඔහුගේ ඥාතීන් හා හිතමිතුරන් සේවය කර ඇත.

මෙය අර්ජුන් මහේන්ද්‍රන් (2015-16) හා අර්ජුන් ඇලෝසියස්ගේ සිදුවීමට සම්පූර්ණයෙන් සමානය.

ප්‍රාථමික වෙළෙඳපොලේදී අඩුගණනට ගෙන ද්විතියික වෙළෙඳපොලේදී වැඩි ගණනට විකුණා (රජයෙන් ගෙන රජයටම විකුණා) අයථා ලාභ ලැබීම 2008-14 කාලයේදීත් ජයටම සිදුවී ඇත.

මෙයට අමරතව EPF අරමුදල (ට්‍රිලියන 2.39 – 2018, වාර්ෂිකව බිලියන 12 බැගින් එකතු වේ) දරුණු ලෙස අවභාවිත කර ඇත. විවිධ පුද්ගලික ආයතනවල කොටස් වෙළෙඳපොළ හරහා සිදුකරන ලද බිලියන 58 ක පමණ ආයෝජන (2008-14) වලින් බිලියන 10 ක පමණ සෘජු පාඩුවක් සිදුවී ඇත. ඒ බැඳුම්කරවල පාඩුවට අමතරවය. එකී ආයතන තෝරාගෙන ඇත්තේ අධිපතිවරයා හා නිලධාරීන්ගේ අභිලාෂය අනුවය. මෙය පාර්ලිමේන්තු ගිණුම්කාරක සභාවේදීද රැව්පිළිරැව් දුන් වංචාවකි.

මේවා හුදු පාඩු නොවේ. වැඩකරන ජනතාවගේ දායක මුදල් අයථා ලෙස අවභාවිත කර ගජමිතුරු කල්ලියකට ලාභ උපයාගැනීමට සිදුකළ තාක්ෂණික අපරාධයකි.

අප මෙතෙක් සිතා සිටියේ ණය ගෙන සංවර්ධනයේ යෙදවීමේදී කොමිස් හා වංචා සිදුවන බවය. දැන් පෙනී යන්නේ ණය ගැනීමේදී ද බරපතල වංචා සිදුව ඇති බවය. ශ්‍රී ලංකාව සතු රන්තොග විකිණීම, ග්‍රීක බැඳුම්කර, තෙල් මිලදී ගැනීමේ හෙජින් ක්‍රියාදාමය, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ප්‍රවර්ධනය ආදී සියල්ල පිළිබඳව විධිමත්ව සොයා බැලුවහොත් බොහෝ දෙනෙක් දේශප්‍රේමී, ශාසන මාමක සළුපිලිවලින් වසාගත් මංකොල්ල හෙළිදරව් වනු ඇත.

මේ සුදුකරපටි අපරාධකරුවන්ට දඬුවම් අවශ්‍යමය. එමෙන්ම, මෙවැනි වෝහාරික විගණනයන් ශ්‍රී ලංකන් සඳහා Airbus 14 ක් මිලදී ගැනීමේදී (2013-15) සිදුවූ වංචාවන් සොයාගැනීමට හා ගුවන් හමුදාවට මිග් 27 යානා මිලදී ගැනීමේදී (Bellissa) සිදුවූ වංචා සොයාගැනීමට ද සිදුකළ යුතුය.

සුදුකරපටි අපරාධකරුවන් හා ආර්ථික ඝාතකයින් සොයාගැනීම එමඟින් සිදුකළ හැක.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot