පොලිස් කොමිෂමට එරෙහි ශානිගේ පෙත්සම විභාගයට දින තීන්දුයි.
රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධූරයෙන් තමන්ව ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණයට එරෙහිව එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 11 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, සිසිර ද ආබෲ සහ ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.
මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය සඳහන් කර සිටියේ පෙත්සම්කාර ශානි අබේසේකර මේ වන විට වැඩ තහනමකට ලක්කර තිබෙන බවයි.
එමෙන්ම පෙත්සමේ ඇතැම් වගඋත්තරකරුවන්ට නොතීසි ලැබී නොමැති බවත් පෙත්සම සලකා බැලීම සඳහා වෙනත් දිනයක් නියම කරන ලෙසත් ඇය අධිකරණය හමුවේ ඉල්ලා සිටියා.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ පෙත්සම යළි සලකා බැලීම සඳහා මැයි මස 11 වන දා කැඳවන ලෙසයි.
පෙත්සම්කාර ශානි අබේසේකර මහතා සඳහන් කර සිටින්නේ රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ තමා ඉකුත් සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් අපරාධ සිද්ධීන් ගණනාවක් පිළිබඳව විමර්ශන සිදුකළ බව සඳහන් කර සිටියා.
ඒ අනුව ඉකුත් ජනාධිපතිවරණයෙන් පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව නොවැම්බර් මස 21 වනදා තමන්ව රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කර දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහකාර තනතුර සඳහා ස්ථාන මාරු කිරීමට වගඋත්තරකරුවන් පියවර ගත් බවද පෙත්සම්කරු චෝදනා කර සිටිනවා.
මෙවැනි මාරුවක් සිදු කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට හෝ ජාතික පොලිස් කොමිසමට සාධාරණ නීතිමය පදනමක් නොමැති බවත් මෙය සිදුකර තිබෙන්නේ පළිගැනීමක් වශයෙන් බවයි ශානි අබේසේකර මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ.
එබැවින් තම ස්ථාන මාරුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් තමන්ව නැවත රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධූරයට පත්කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
No comments:
Post a Comment