හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුලදී අල්ලා ගන්නා ලද විශේෂ සත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 550 කු හා ශාක කොටස් රැසක් මෙරටින් හොර රහසේ රැගෙන යාමට තැත් කරන ලද රුසියන් ජාතික විදේශිකයන් තිදෙනෙකු මෙම මස 12 දින දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා ඊයේ (03) නියෝග කළේය.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ සිටින දැනට මෙරටින් වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති කටුස්සන්, ගෝනුස්සන්, ගෙම්බන්, හුනන්, ගොළුබෙල්ලන්, මකුළුවන්, සර්පයන් ඇතුළු සත්ත්ව විශේෂ රැසක සතුන් 550 කු හා වටිනා ශාක වර්ගවල කොටස් විශාල ප්‍රමාණයක් මෙම විදේශිකයන් තිදෙනා විසින් විශේෂ බහාලුම්වල බහා මෙරටින් රැගෙන යාමට පියවර ගනිමින් තිබියදි වනෝද්‍යාන නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබිණි.
වනෝද්‍යානය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද මිය නොගිය සතුන් නිදහස් කිරීමටත්, අනෙකුත් සතුන් හඳුනා ගැනීමට කෞතුකාගාරය වෙත යවීමටත්, ශාක කොටස් පේරාදෙණිය උද්භිද උද්‍යානයට භාරදීමටත්, සතුන් අල්ලා ගැනීමට භාවිතා කරන ලද රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටත් පියවර ගන්නා ලෙස මෙහෙදී මහේස්‍ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කරන ලදි.
විවිධ රාසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් මෙම විදේශිකයන් තිදෙනා මෙරට වඳවීයාමේ තර්ජනයට ලක්ව රතු දත්ත පොතට පවා ඇතුළත් කොට ඇති හෝර්ටන්තැන්න වනෝද්‍යානය තුළ සිටින සත්ත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් වර්ග 550 කු අල්ලාගෙන එම සතුන් විශේෂ ඇසුරුම්වල බහා හොර රහසේ රුසියාවට රැගෙන ගොස් මහා ජාන මංකොල්ලයක නිරතවීමට කටයුතු කර ඇති බව ඇති බව හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු පී. එම්. පී. කේ. ප්‍රදීප් කුමාර මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවැසීය.
හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු පී. එම්. පී. කේ. ප්‍රදීප් කුමාර, නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, වනසත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ, වනසත්ත්ව නියාමක ප්‍රියදර්ශණ, කේෂ්ත්‍ර සහායක උදය කුමාර, රියදුරු එස්. චන්ද්‍රලාල් යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කොට විදේශිකයන් තිදෙනා, සතුන් හා අනෙකුත් භාණ්ඩ අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
No comments:
Post a Comment