අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා පත්‍රය විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී මෙහි විත්තිකරු ලෙස නම් කර සිටින අජිත් ප්‍රසන්න මහතා වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හෙයින් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කළා.
මෙහිදී විත්තිකාර අජිත් ප්‍රසන්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙම නඩුවට අදාළ ලේඛන තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කළා.
කෙසේ වෙතත් මෙම නඩුව විභාගය සඳහා දින නියම කරන ලෙසයි ජනාධිපති නීතිඥවරයා සිටියේ.
එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා ද එකඟතාව පළ කළා.
ඒ අනුව දෙපාර්ශවයේ එකඟතාව මත අදාළ නඩුව මැයි මස 27 වනදා සිට දිනපතා විභාගයට ගන්නා බව මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.
ඉකුත් ජනවාරි මස 12 වනදා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරිපිට විභාග වන නඩු කීපයක් පිළිබඳව පළකරන ලද අදහස් වලින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් අධිකරණ සංවිධාන පනතේ 19 වගන්තිය ප්‍රකාරව අජිත් ප්‍රසන්න මහතාට එරෙහිව මෙම චෝදනා පත්‍රය ගොනු කර තිබෙනවා.
එම චෝදනා පත්‍රය හේතුවෙන් විත්තිකාර අජිත් ප්‍රසන්න මහතා මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර පසුව මහාධිකරණය විසින් ඔහු ඇප මත මුදාහරිනු ලැබුවා.
No comments:
Post a Comment