දකුණු කොරියාවෙන් එන පිරිස වැඩිවෙලා.
දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පෙන්වා දෙන්නේ අද අලුයම දකුණු කොරියාවේ ඉන්චිගොන් සිට මගීන් 182 කු පැමිණි බවයි. ඒ අතරින් 137 ම ශ්‍රී ලාංකිකයින්. පසුගිය දින කීපය තුළ දී දකුණු කොරියාවේ සිට, පෙර පැවති තත්වයට වඩා ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බවද කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පවසනවා.
එමෙන්ම උණ රෝගයෙන් පෙළුණු ගුවන් මගීන් දෙදෙනෙකු, විශේෂ ගිලන් රථ මගින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමටද පියවර ගෙන තිබුණා. කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන සියලුම මගීන් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ස්ථාපිත කර ඇති ස්වයංක්‍රීය උපකරණ මගින් නිරන්තර පරීක්ෂාවට ලක් කරන බැවින් රෝගීන් හදුනා ගැනීම පහසු වී තිබෙනවා.
දකුණු කොරියාවේ මේ වනවිට කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යමින් පවතින බැවින්, මේ හරහා ශ්‍රී ලංකාවටද කොරෝනා බලපෑම ඇති වීමේ වැඩි අවස්ථාවක් පවතින බව ගුවන් තොටුපල බලධාරීන්ගේ සැකයයි.
මේ අතර පළමු වරට අමෙරිකාවෙන්ද කොරෝනා මරණයක් වාර්තා වී තිබෙනවා. වයඹ දිග වොෂින්ටන් ප්‍රාන්තයේ 50 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අමෙරිකාවෙන් කොරෝනා වෛරසය ආසාධීතයින් 68 කු මේ වන විට වාර්තා වී තිබෙනවා.
මේ වනවිට රටවල් 64 න් කොරෝනා ආසාදිතයින් 86,000 ක් වාර්තා වී ඇති අතර, වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 2,942 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් මරණ 2,835 ක් වාර්තා වන්නේ චීනයෙන්. ඉරානයෙන් මරණ 43 ක් වාර්තා වන අතර ඉතාලියෙන් මරණ 29 ක් වාර්තා වී තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් දකුණු කොරියාවේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් ඇතැයිද විදෙස් වාර්තාවල දැක්වුණා.
No comments:
Post a Comment