උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 20 February 2020

කථානායකතුමා විසින් අද (2020.02.18) දින පාර්ලිමේන්තුවේ දී සිදු කල නිවේදනය



කථානායකතුමා විසින්  අද (2020.02.18)  දින පාර්ලිමේන්තුවේ දී සිදු කල  නිවේදනය


2020 ජනවාරි මස 21 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තු සභාගර්භයේදී කතාවක් පවත්වන ලදි.  එම කථාව අතරතුරේදී තමා විසින් හඬපට කිහිපයක් සභාගත කරන බව ඔහු විසින් ප්‍රකාශ කල නමුත් එදින එලෙස හඬපට සභාගත කිරීමක් සිදු කර නොතිබුණි. එකී හඬපට සභාගත නොකරන ලද බව මෙදින හැන්සාඩ් වාර්තාවේ 430 හා 437 තීරුව යටතේ ඉතා පැහැදිලිව දක්වා ඇත.
කෙසේ වෙතත් ඉන් දින කිහිපයකට පසුව එනම් 2020 ජනවාරි මස 24 වැනි දින සවස එදින පාර්ලිමේන්තුවේ රැස්වීමද අවසන් වූ පසුව ගරු මන්ත්‍රීතුමා විසින් දුරකථන  සංවාද 19ක් අඩංගු හඬපටයක් හැන්සාඩ් දෙපාර්තමේන්තුවට භාර දෙන ලදි. ඒ වන විට 21 දිනට අදාල හැන්සාර්ඩ් වාර්තාව මුද්‍රණය කර තිබුනි.  මෙම සභාගත කරන ලද හඬපටය මන්ත්‍රීවරුන්ට ඇසීමට නිකුත් කරන මෙන් මන්ත්‍රීවරුන් විසින් බලවත් ඉල්ලීම් කිහිපයක් කරන ලදි.  2020.02.07 දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් මා විසින් පක්ෂ නායකයන් දැනුවත් කරන ලද අතර එහිදී එළැඹි එකඟතාවය මත අදාල හඬපටයේ අන්තර්ගත ඇතැම් කරුණු සංස්කරණය කිරීමෙන් පසුව එය මන්ත්‍රීවරුන්ට මුදාහැරීම සුදුසුයැයි අදහස් කරන ලදි.   ඒ අනුව මෙම හඬපටයේ අඩංගු පටිගත කිරීම් පිලිබඳ වාර්තා කිරීම සඳහා මා විසින් මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් පත් කරන ලදි.
පාර්ලිමේන්තුවේ සභාගත කරන ලේඛන සම්බන්ධයෙන් මෙම ගරු සභාව විසින් පවත්වාගෙන යනු ලබන පිළිගත් සම්ප්‍රදායන් හා කාර්ය පටිපාටියක් ඇත. කිසියම් ලේඛනයක් එලෙස සභාගත කරනු ලබන්නේ මූලාසනයේ අවසරය හා අනුමැතිය ලබා දෙන්නේ නම් පමණි. එසේම එම සභාගත කරනු ලබන ලේඛනය මන්ත්‍රීවරයෙකු විසින් කරනු ලබන කථාවට අදාලත්වයක් තිබිය යුතුය. එම සභාගත කරන ලේඛන කථාව අවසන් වූ වහාම සභා මේසය මත තැබිය යුතුය. එසේ සභාගත කරනු ලැබූ ලේඛනයක් නැවත සංස්කරණය කිරීමක් පාර්ලිමේන්තුවේ පිලිගත් ක්‍රියා පටිපාටිය නොවේ.
කෙසේ වෙතත්, ගරු මන්ත්‍රීවරුන්ගෙන් නැගුනු බලවත් ඉල්ලීම නිසා සහ  පක්ෂ නායක රැස්වීමේදී එකඟ වූ පරිදි මෙම සංවාද 19 ක් අඩංගු හඬපටය සංස්කරණය කිරීමෙන් අනතුරුව මුදා හැරීමට සුදුසු බව මා තීරණය කරන අතර, මෙම තීරණය මතුදිනක සභාගත කරනු ලබන ලේඛන පිළිබඳව පූර්වාදර්ශයක් නොවිය යුතු බවටත් තරයේ අවධාරණය කරනු කැමැත්තෙමි.
පාර්ලිමේන්තුව තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හා  පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල පනත මගින් ගරු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති භාෂණයේ නිදහස ඔවුන් විසින් වගකීමකින් යුක්තව මෙම ගරු සභාවේ කීර්තිය හා ගෞරවය සුරක්ෂිත වන ආකාරයෙන්  භාවිත කරනු ඇතැයි මා විශ්වාස කරමි.  අනාගතයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ලේඛන සභාගත කිරීමේදී මවිසින් ඉහත සඳහන් කර ඇති පරිදි තම වගකීම් නිසි පරිදි ඉටු නොකරන්නේ නම් එබඳු අවස්ථාවකදී එසේ සභාගත කරනු ලබන ලේඛන ප්‍රතික්ෂේප කරනු ලැබීමට සිදුවනු ඇති බව දැනුම් දෙමි.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot